Search This Blog

Saturday, December 12, 2015

පිළිකාවේ පෙරනිමිති දැනගනිමු.


පිළිකාවක් යනු මිනිස් සිරුරේ කිසියම් ප‍්‍රදේශයක හෝ අවයවයක පිහිටි සෛලයක   අක‍්‍රමවත් වර්ධනයක් හේතුවෙන් ඇතිවන තත්වයකි. මෙවැන්නක් හටගත් මුල් අවස්ථාවකදී එතරම් වෙනසක් නොමැත. පිළිකාවක් හටගත් මුල් අවධියේදී රෝගී තත්වයෙන් පෙළෙන බවක් පවා නොදනී.
පිළිකා රෝගවලින් සියයට 30 ක් පමණ නැවත සුවකළ හැකි තත්වයේ පවතින ඒවා බව වෛද්‍යවරු ප‍්‍රකාශ කරති. සිරුරේ යම්කිසි වෙනස්කමක් ඇතිබව වැටහේ නම් කල්තියාම වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරවාගැනීම වඩාත්ම සුදුසුය. සිරුරේ විවිධ අවයවයන් වන පෙනහළු, උගුර, ගලනාලය, පියයුරු, මුඛය, බඩවැල්, තයිරොයිඞ් ග‍්‍රන්ථිය, පුරස්ථි ග‍්‍රන්ථිය, ගැබ්ගෙල ආදී ස්ථානවල මෙවැනි පිළිකා තත්වයන් හටගත හැකිය.
කොන්ද ප‍්‍රදේශයෙහි වේදනාවක්, හුස්ම ගැනීමේදී කිසියම් අපහසුතාවයක් දැනේනම් එය පෙනහළු පිළිකාවක පෙර නිමිත්තක් විය හැකිය. උගුර හා ගලනාලය සම්බන්ධ පිළිකාවකදී නම් ආහාරගැනීමේදී ගිලීමට අසීරු බවක් හා වේදනාවක් ඇතිවේ. ශරීරයේ බරද බොහෝදුරට අඩුවිය හැකිය.
පියයුරු පිළිකාව සහ ගැබ්ගෙල පිළිකාව කාන්තාවන් අතරේ බහුලව වැළඳෙන පිළිකා වර්ග දෙකකි. පියයුරු මත ගැටිත්තක්, පැල්ලමක්, ඉදිමීමක් සිදුවී තිබීම, පියයුරු සමෙහි ගොරෝසු බවක් හටගෙන තිබීම, තන පුඩු ඇතුළට ගිලීගිය ස්වභාවයෙන් යුක්ත වීම ආදී කරුණු පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ වේ.
යෝනි මාර්ගයෙන් එකදිගට රුධිරය පිටවීම, ලිංගික සබඳතාවයකින් පසු රුධිරය පිටවීම වැනි ලක්ෂණ හටගනී නම් එය ගැබ්ගෙල ආශි‍්‍රත පිළිකාවක ස්වභාවයකි. පුරස්ථි ග‍්‍රන්ථි පිළිකාව
පුරුෂ පාර්ශවය තුළ බහුලව දැකිය හැකි පිළිකා අවස්ථාවකි. මුත‍්‍රා පිටකිරීමේදී වේදනාවක්, අපහසුතාවයක් හටගැනීම, නිතර නිතර මුත‍්‍රා පිටකිරීමට අවශ්‍ය වීම, මුත‍්‍රා සමග රුධිරය පිටවීම මෙහි රෝග ලක්ෂණ වේ.
බඩවැල් හෙවත් අන්ත‍්‍රවල හටගන්නා පිළිකාවක් පෙරසිටදීම පූර්ව ලක්ෂණ හඳුනාගත හැකිය. මළපහ කිරීමේදී ඇතිවන වේදනාව හා අසම්පූර්ණව පිටවූ බවක් දැනීම, මළපහ සමග රුධිරය පිටවීම, උදරයේ වේදනාව, ශරීරයේ බර අඩුවීම මෙහි ප‍්‍රධාන ලක්ෂණ වේ.
තයිරොයිඞ් ග‍්‍රන්ථිය ඉදිමීම, කටහඬ වෙනස් වීම, ගෙලෙහි වසාගැටිති හටගැනීම, හුස්ම ගැනීමට හා ගිලීමට ඇති අපහසුතාවය තයිරොයිඞ් ග‍්‍රන්ථි පිළිකාවේ මූලික රෝග ලක්ෂණ වේ.
මුඛ පිළිකාවක්දැයි හඳුනාගැනීමට මුඛය පරීක්ෂා කිරීමෙන් ඔබට හඳුනාගත හැකිය. මුඛයේ සුදු හා රතු පැහැති ලප හටගැනීම, අසාමාන්‍ය දාහයක් හටගැනීම, තුවාල හටගැනීම, දිව සෙලවීමේ හා මුඛය විවෘත කිරීමේ අපහසුතාවය මෙහි රෝග ලක්ෂණ වේ.
පිළිකා රෝග ලක්ෂණ කලින්ම හඳුනා ගැනීමෙන් වහාම ප‍්‍රතිකාර කටයුතු සිදුකර ජීවිත අවදානම වළකාගත හැකිය.

(අන්තර්ජාලය ඇසුරිනි)

No comments:

Post a Comment